Wednesday, September 20, 2023

 ඔබෙ මතක රැඳී තිබු

සමරු පොත් පිටු අතර

එකින් එක අකුරු මත

මා ඇඟිලි තුඩු යවමි


ඔබට මම මටද ඔබ 

අමතකව ගිය දිනෙක

පවා ඒ අකුරු මැද

මම නුඹේ රුව දකිමි


කැප්‍රි විලවුන් සුවඳ

සොරා ගෙන තවරගත්

පිටු දෙකක් හෝ තුනෙක

මතක සුවඳක එතෙමි


ඉඳහිටක මදනලෙක

දඟ කරන කෙහෙරලක්

ඇඟිලි තුඩගින් රැගෙන

සවන් පත් මත හොවමි


එදා මෙන් තවම මට

ආදරේදැයි කියා

නො අසාම නෙත් අතර

පිපෙන සෙනෙහස විඳිමි


දුරම දුර අතීතෙක

එකම මොහොතක වුවත්

අප ලවන් මුණගැසුණු 

ඉසිඹුවට ගිහින් එමි



එරා

Wednesday, August 9, 2023

පිදුම


හෙලෝ!

හෙලෝ!

ඉතින් මොකද මේ හදිස්සියෙ?

මට උඹත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ. මේ වෙලාවෙ පුළුවන්ද?

කමක් නෑ. කියපං.

බිසී නම් මම පස්සෙ ගන්නම්.

අවුලක් නෑ. කියපං.

මං ඉන්නෙ අවුලක. මං කියන්නෙ කරන්නෙ මොනවද කියලවත් මං දන්නෙ නෑ.

මොකක්ද උනේ?

වෙන්න තියෙන හැමදේම.

මොකක්ද උනේ කියල මුල ඉඳල කියනවද?

ප්‍රහේලිකාවක හරස් පද වගේ මට උත්තර හොයාගන්න කියල වචන වලින් දමල ගහන එක තේරුමක් නෑනෙ.

මට මේ ජීවිතේ තිත්ත වෙලා තියෙන්නෙ.

ඇයි?

මං දන්නෙ නෑ. මට තේරෙන්නෙ නෑ.

මොකක්ද උනේ?

අපි රණ්ඩු උනා.

කවුද?

මමයි. මේනකයි.

ඉතින්?

ඉතින්. ඉතින් මේක හරියන්නෙ නෑ.

මොකක්ද?

අපිට එකට ගමනක් යන්න බෑ.

කොහේ යන්නද දාගෙන හිටියෙ.

විහිලු නෙවෙයි බං. මාව ටිකක් අහගෙන ඉඳපං.

මං අහගෙන ඉන්නෙ.

මං කියන්නෙ ජීවිතේ ගැන.

ඉතින්.

අපිට මේ විදියට දිගට යන්න බෑ. අපේ අදහස් ගැලපෙන්නෙ නෑ.

මොකක්ද උනේ?

එයා මාව තේරුම් ගන්නෙ නෑ. මං කියන්නෙ කරන්නෙ මොනවද? මං එයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල එයාට ගානක්වත් නෑ.

ඉතින් එයාට කියල බැලුවද?

මොනවද?

උඹට ජීවිතේදි උගෙන් ඕනෙ මොනවද කියල.

නෑ.

ඉතින් ඇයි කිව්වෙ නැත්තෙ?

මං කියන්නම ඕනෙද?

නෑ. උඹ කවදහරි උගෙන් ඒ ගැන අහල තියනවද?

මොකක් ගැනද?

ඌට ජීවිතේ ඕනෙ මොනවද කියල.

නෑ.

එහෙනම්?

මං එයාට ගෑනියෙක්ගෙන් වෙන්න ඕනෙ යුතුකම් ඔක්කොම කරල තියෙනව. දැනුත් කරනව.

ඌට ඕනෙ උඹ ඔය කරන ඒවමද කියල කවදාවත් අහල නැද්ද්?

නෑ.

ඒක තමයි වැරැද්ද.

මොකක්ද

මුකුත්ම අහන්නෙ නැති එක

ඇයි.

ඌට පේන කියන්න බැරුව ඇතිනෙ. ඉතින් ඌ දන්නෙ නෑ උඹට මොනවද ඕනෙ කියල. උඹ උගෙන් අහල නැති හින්ද ඌ කියන්නෙත් නැතුව ඇති.

මොනවද?

ඌ උඹෙන් ජීවිතේදි බලාපොරොත්තු වෙන්නෙ මොනාද කියල.

කියන්නම ඕනෙද තේරුම් ගන්න?

මුකුත්ම නොකිය හැමදේම තේරුම් ගන්නකම් බලන් ඉන්න පුළුවන්ද බං. උඹ මේ මට කතා කරනව වගේවත් ඌ එක්ක කතා කරපන්.

ඊට පස්සෙ?

ඊට පස්සෙත් ඌ උඹව අහන් ඉන්නෙ නෑ වගේ නම් මං මිනිහට කතා කරල බලන්නම්.

බලමු

මොකක්ද බලන්නෙ? කතා කරපං. ඌට දැනෙන්න දියං උඹට ඌ එක්ක බෙදාගන්න දෙයක් මේ ජීවිතේ ඇතුලෙ තියනව කියල.

අන්ධයෙක් ගොළුවෙක් බීරෙක් වගේ තව කෙනෙක් එක්ක ජීවිතයක් බෙදා ගන්න බෑ.

කතා කරන එකයි අහන් ඉන්න එකයි දෙකම කරන්න වෙනවා.

මිනිස්සු කවදහරි අපිව තේරුම් ගනීවි කියල බලන් ඉන්න ගියොත් හැමදාම වෙන්නෙ බලාගෙන ඉන්න තමයි.

හ්ම්ම්.

මොකද යකෝ හ්ම්ම් කියන්නෙ.

මං තියන්නම්.

ඉවරද?

මොනවද?

කියන්න ඕනෙ ටික.

ඔව්.

එහෙනම් ඌට කතා කරපන්. මම පස්සෙ කෝල් එකක් දෙන්නම්.

හා

ජීවිතය බොහෝ කෙටි වන්නටත් දිගු වන්නටත් පුළුවන. එහෙත් එය බොහෝ විට තීරණය වන්නේ අපේ ජීවිත කාලය මත නොවේ. අපි ආදරය කරන උන් සමඟ බෙදාගන්නා ඉතා කුඩා නිමේෂයන්ගෙනි.

ඔබට මතකයට නංවා සිනා නඟන්නට හැකි හෝ අඬන්නට හැකි මොහොතවල් ඔබේ ජීවිතයේ තිබිය යුතුය. ජීවිතය ජීවත් වන්නාක් මෙන් දැනෙන්නේ එවිටය. ආපසු හැරී, ආ මඟ දෙස බැලීමේදී මගේ එතුවක් අවතැන්ව තිබූ ජීවිතයේ නැවතාරම්භය සිදුවූයේ උක්‍ත ඇමතුමෙන් පසුව බව මම හඟිමි.

නැවත ඇමතුමක් දී කතා කරන්නට ඇය දැන් නැත. ජීවිතය ඉකුත්ව යමින් තිබේ. එහෙත් බොහෝ සතුටු හදවතින් යුතුව එය වැළඳගන්නට දැන් මට පුළුවන. ගෙවා ආ දිගු ගමනකින් පසු මම නැවතී හිඳිමි. මේ මගේ ජීවිතය ගැන මා ලද ඉසිඹුවක ලියැවුනු පොත ඇයට පුදමි.


අවසන්‍ ය කියා මඟ දමා ගිය
ජීවිතය පුරුද්දා එකලසක් කොට
සිනා සී යලි මා අතට දී, යන්න ගිය
නුඹටමය මේ ජීවිතය...

අහිමි වන්නට නොදී රැකගත්තාට


එරා

Saturday, April 1, 2023

 ඈත දුර සිට සඳට පෙම් කල 

සිඳු තෙරක දුක් කතා තිබුනා

සඳ එළිය යට සඳත් නොදැනම

ලුණුම ලුණු රස කඳුලු වැටුනා


ඔහේ ඇවිදින් ළඟින් පෙම්වත්

ලෙසින් පෝදා සිනා නැඟුනා

අහෝ සිඳු හද නැඟුනු කම්පන

නිසා වඩදිය වෙරළ වැදුනා


කිසිත් නොකියම ගොඩක් දවසට

සඳ උදා හිරු රැසේ මියුනා

එහෙම දවසට වෙන්න ඇතුවැති

වෙරළෙ කඳුලක ලකුණු තිබුනා


ඉතින් සඳ තව දන්නෙ නැතුවැති

එහෙම බොහො කල් ගිහින් තිබුනා

අන්තිමට දුක් කඳුලු පිස ලෑ

වෙරළ සිඳු හා බැඳී තිබුනා


අදත් ඉඳහිට එහෙම දවසක

මතක මැද සඳ අහසෙ පිපෙනා

ඒත් දෙනෙතින් නුදුටු විලසක

සයුරු දිය වෙරළතට ඇදුනා

නොදැක්කාවද නොදැනුනාවද

ආලයේ මල් ලිහී වැටුනා

සඳත් නොදැනම සයුර බැඳි පෙම්

ගැඹුර පතුලක නිදන් කෙරුනා


එරා


Sunday, March 12, 2023

රිදුනු අහසක් මුහුද සිපගත් සිතිජ රේඛාවේ ගිලී
හිරුත් මලිගිය හවස් යාමෙක නුඹේ අතිනත් හා වෙලී
සඳත් අහසට ඇවිත් හිනැහෙන මොහොත වනතුරු තුරුළු වී
අපි හිටිය වග දැනන් උන්නා නොවෙද දුර උන් තරු එළී

මුකුත් නොකියම ඈත මුහුදට යොමුවු නෙතු අතරෙහි ගැලී
එකින් එක තත්පර ගෙවුනු හැටි තවම මතකයි සියුමැලී
කියඹු වැල් නුඹෙ උවන සිපගත් මගේ අතැඟිල්ලක රැඳී
නුඹව සිපගත් වාර දහසක් ගැන රහස් මා හා ගැයී

අදත් නුබ ගැබ දුකින් වාගෙයි හිරු ගිලෙද්දී දැවි දැවී
තවම ඉරබටු තරුව පමණෙකි එහෙත් අඳුරක් නෙත බිඳී
කඳුළු අතරෙහි ගියත් බොඳවී කාලයේ තිරයෙන් වැහී
එදා වාගෙම තවම විඳගමි නුඹේ උණුහුම මා විඳී

ඉතින් එක දෙකකින් පටන් ගෙන රිදීයෙන් වැඩ දා මැවී
කාලයේ දිගු ගමන් මඟ දුර එකක් වග මට කියා දී
තවම ඔච්චම් කලත් මට නුඹ මුව සිඹින මොහොතක එබී
එදා මෙන් නැත කීකරුය ඒ කියඹු වැල් සුළඟෙහි බැඳී


එරා  

Monday, December 3, 2012

කරගැට




බිඳී ගොස් වේදනා දෙන තරම්...
හුරු නමුදු කඳුලු කැට බිහි කරන්...
ඇත්තටම හදවතෙහි තිබුනි නම්...
කඳුලු කැට නිවනු කෙලෙසක ඉතින්...


ළඟට ළංවී සුවැති සෙනෙහසින්...
සෙමෙන් පිරිමැද ඇඟිලි තුඩු අගින්...
පනින කඳුලට බැඳුනු ලොබ සිතින්..
බින්දෝද කෙලෙස දනිමුද ඉතින්...

කුමක් කරමුද උන්ට බැඳි වෙරින්...
දරාගමි හපාගත් තොල්පටින්...
කිසි දිනෙක නිම නොමැති ඒ දුකින්...
ලේ රසද දැනෙන තුරු දිව අගින්...

Thursday, August 2, 2012


සඳවත අහස මැද ඇවිදින් රෑ යමට...
සිතුවිලි පෙලී කඳුලක් කැඳවා නෙතට...
තරු කැට සදිසි නුඹ නෙත් සිහිවන කලට...
කඳුලක් ඇවිත් රැඳුනා නෙතු යුග අගට...

පිනි කැට වැටී දිලිහෙන තණපත් දිගට...
තබමින් උදේ නැගෙනා හිරු රැස් වලට...
තරු එළි නිවා හෙට රැයටත් දිලෙන්නට...
සඳ ගිලිහුනා අවපස දුක් තුරුල්කොට...

මදනල ඇවිත් සීතල ළය උණුහුමට...
තුරුළුව නුඹට හිමි ඉඩ අහුරුවා සිට...
හදවත නැගෙන තනිකම ඉසිඹුවක් කොට...
කවි පද අකුරු කෙරුවා දුක බිඳින්නට....

Sunday, July 22, 2012


අඳුරු නුබ ගැබට වී එලිය දුන් සඳද නැත...
තනිකමට ළඟින් උන් තරු කැකුලු පෙතිද නැත...
සුවඳ ගෙන නුඹ වෙතින් හැමූ මද පවන වෙත...
ලියා දුන් කවි පදත් තවම පෙර විලස ඇත...

ගඟද පෙර ගැලූ ලෙස පෙන නගා ඉතිර යත...
ඉවුර වෙත දුව අවුත් පුලිනතල සිඹ ඇදෙත...
එදා ගිය මඟ අදත් යතත් පා පුරුදු නෙත...
ලඟ රැඳුනු නුඹ නැතැයි කියයි මට මගේ සිත...

සුසුදු පෙති විදාලා නටු අගෙක රැඟුම් දෙත...
පුංචි සේපාලිකා මල් කැලට මතක ඇත...
අදත් පෙරදා වගෙයි සඳ අහස අරා නැත...
මම තවම එතැන ඉමි,නුඹ යලිදු දකිනු නැත...